බලෝචිස්තානය ඇත්තටම ස්වාධීන රාජ්‍යයක්ද?

පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වන බලෝචිස්තානය, බලෝච් දේශපාලන ක්‍රියාකාරීන් විසින් ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරගෙන තිබීම මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන කරුණකි.

බලෝචිස්තානය මෙලෙස ස්වෛරීචත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධව, පාකිස්ථානය නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඉන්දු – පාකිස්තාන ගැටුමේ තාවකාලික සටන් විරාමයක් පවතින අවස්ථාවක උද්ගත වූ මෙම තත්ත්වය පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් කරනු ඇති බව වාර්තා වෙනවා.

ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටා තිබෙන බලොචිස්තාන ප්‍රාන්තය, පාකිස්තාන භූමියෙන් 44% ක් හිමිකම් කියන නමුත්, එය පාකිස්තානයේ විශාලතම ප්‍රාන්තය වුවත් මිලියන 247 ක් වන පාකිස්තාන මුළු ජනගහනයෙන් බලොචිස්තානයේ වෙසෙන්නේ මිලියන 15 ක පමණ පිරිසකි.

ස්වභාවික වායු, ගල් අඟුරු, තඹ, රත්තරං සහ අනෙක් ඛනිජ බලෝචිස්තානයේ සුලබ වුවත්, එම ප්‍රාන්තය පාකිස්තානයේ ඇති දිළිඳුම ප්‍රාන්තය ලෙස හඳුන්වනවා.

1947 වසරේදී පාකිස්තානය නිදහස් රටක් බවට පත්වන විට “කලාත්” නමින් එකල හැඳින්වූ බලොචිස්තානය, 1948 වසරේදී හමුදා බලය භාවිත කරමින් පාකිස්තානයට බලහත්කාරයෙන් ඈඳාගෙන ඇති බවත්, එදා සිට අද දක්වාම බලොචිස්තාන පාලනය තමන් සතු කරගැනීමට එහි වැසියන් පාකිස්තානය සමග සටන් වදින බවත් සඳහනා වෙනවා.

1948 සිට අවස්ථා කිහිපයකදී සිදුවූ නැගී සිටීම් මෙන්ම 2004 වසරේදී ආරම්භ වූ විමුක්ති කැරැල්ල ඒ අතරින් ප්‍රධාන සංධිස්ථාන වෙනවා.

මෙම කැරැල්ල මෙහෙයවන බලෝච් විමුක්ති හමුදාව, බලෝච් ජනරජ හමුදාව ඇතුළු තවත් කණ්ඩායම් නීතිවිරෝධී කටයුතුවල නිරතව සිටින බවත්, එයට උදාහරණයක් ලෙස, මීට දෙමසකට පමණ පෙර මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන බලෝචිස්තානයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් පැවති දුම්රියකට ප්‍රහාර එල්ල කිරීම සඳහන් කරන්න පුලූවන්.

එවැනි සිදුවීම් කිහිපයක් සමග ප්‍රාන්තයේ නගර කිහිපයක පාලනය පාකිස්තාන හමුදාවෙන් ගිලිහී කැරලි කණ්ඩායම් අතට පත්වීමත් සමග මෙලෙස බලෝචිස්තානය, පාකිස්තානයෙන් නිදහස ලැබූ ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බලෝච් දේශපාලන ක්‍රියාකාරීන් එම රාජ්‍ය නම් කර ඇත්තේ බලෝචිස්තානය ජනරජය ලෙසයි.

තමන් ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශ කරගන්නා ඔවුන්, සිය ස්වෛරීත්වය පිළිගන්නා ලෙස ඉන්දියාවෙන් සහ ලොව අනෙක් රටවලින් ඉල්ලා සිටින බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *