Forbes 30 Under 30 ලැයිස්තුවට තේරුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30 න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා.
ඒ අද ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා සහ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර යන දෙදෙනායි.
‘Wild Cookbook’ නාළිකාව පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකරා. ඒ අනුව, මිලියන 10 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා වන්නේ ඔහුයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකි වුණා.
2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4 කට වැඩි නැරඹුම් ලබාගෙන තිබෙනවා.
චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවකි.
මේ අතර, යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් 2025 – Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබෙනවා.
විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle නිර්මාතෘවරිය ඇයයි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා.
ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් හිමිකර ගෙන තිබෙනවා.
