මානව දයාවේ ප්‍රතිමූර්තියක් වූ සාමයේ පාප් වහන්සේ

ලොවට කළ මෙහෙවර නිමා කරමින් මානව දයාවේ ප්‍රතිමූර්තියක් වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (21) ස්වර්ගස්ථ වුණා. ලොවපුරා බිලියන 1.4 ක් වූ කතෝලික ප්‍රජාවේ නායකයා වන පාප් වහන්සේ ස්වර්ගස්ථ වන විට 88 වැනි වියෙහි පසුවුණා.

වියපත් වීමත් සමඟ ලද රෝග පීඩා හේතුවෙන් පාප්වහන්සේ සිය අවසන් කාලය ගෙවූයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ වන අතර, ශ්වසන පද්ධතියේ රෝගයක් හේතුවෙන් උන්වහන්සේ පසුගිය පෙබරවාරි 14 වැනිදා හදිසියේ රෝහල්ගත කෙරුණු අතර පසුව පාප්වහන්සේ ද්විත්ව නිව්මෝනියා තත්ත්වයටද ලක්වූ බව වාර්තා වුණා.

සුවය ලබා පැමිණි පාප් වහන්සේ තවත් දෙමසක් පමණ විවේකීවම විසිය යුතු බව බලධාරීන් පැවසුවත්, ඒ නොතැකූ උන්වහන්සේ එතැන් සිට වතිකානයේ විශේෂ අවස්ථාවන්ට එක්වුණේ මහජන හිත සුවම පතමින්ය.

ඒ අතරින් සදා නොමියෙන මතකය වන්නේ එහි පැවැත්වුණු විශේෂ පාස්කු දේව මෙහෙයයි. උන්වහන්සේ එහිදී ජනතාව අතරට ද ගමන් කළේ සිය රෝගී තත්ත්වයද මායිම් නොකරමිනි.

වතිකානයේ සංචාරයක නිරතව සිටි අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී වෑන්ස් ද උන්වහන්සේ පසුගියදා හමුවී සුදොතුම් පියාණන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කර තිබෙනවා.

හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ නමින්, 1936 සීතල දෙසැම්බරයේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී උන්වහන්සේ උපත ලැබුවේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසිනි.

බෙර්ගෝලියෝ රසායන විද්‍යා උපාධිධාරියෙකි. නිව්මෝනියාව හේතුවෙන් 1958 වසරේදී පෙණහැල්ලේ කොටසක් ඉවත් කෙරුණු පසු කතෝලික දහමට නැඹුරු වූ බෙර්ගෝලියෝ පූජකවරයෙක් ලෙස දේව සේවයට යොමුවුණේ 1969 වසරේදීයි.

උන්වහන්සේ 2001 වසරේදී කාදිනල් තනතුරට උසස්වීම් ලැබීය. 2013 වසරේදී 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය ධුරයෙන් ඉසිඹු ලැබීමෙන් පසු පැවති පාප් නිලවරණයේදී කතෝලික සභාවේ 266 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට කාදිනල් බෙර්ගෝලියෝට හැකිවුණි. එහිදී සිය පාප් නාමය ලෙස උන්වහන්සේ තෝරාගත්තේ පළමුවැනි ෆ්‍රැන්සිස් යන්නයි.

පාප් ධුරයට පත් පළමු අමෙරිකානුවා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වන අතර, ලොව දකුණු අර්ධ අර්ධගෝලය නියෝජනය කළ පළමු පාප් වහන්සේ ද උන්වහන්සේ වෙනවා.

ලෝක සාමය හා ළමා අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙක් ලෙස ප්‍රකට උන්වහන්සේ කාන්තා අයිතීන් වෙනුවෙන් ද හඬ අවදි කළ අතර, විශේෂයෙන්ම සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැරුවේ මෙතෙක් කතෝලික පල්ලිය දැරුවාට වඩා ලිහිල් මතයකි.

කොවිඩ් වසංගතයේදී සෞඛ්‍ය සම්පන්න ලෝකයක් වෙනුවෙන් උන්වහන්සේ පැවැත්වූ හුදකලා දේවමෙහෙය ලොවපුරා අවධානය දිනාගත් අතර,
ශ‍්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන හයක් ඉලක්ක කරගත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී උන්වහන්සේ පැවැත්වූ දේව මෙහෙයද විශේෂ වුණා.

දකුණු සුඩානය සිවිල් යුද්ධය අවසන් කරන්නැයි ඉල්ලා එහි ප්‍රාදේශීය නායකයින්ගේ දෙපා සිඹීමටත් උන්වහන්සේ නොපැකිළුණේ ලෝක සාමය සඳහා ඇති කැපවීම මනාව පෙන්වමිනි.

ස්වර්ගස්ථ වීමෙන් පසු උන්වහන්සේ සාමයේ පාප් වහන්සේ ලෙස ද නම් කෙරුණේ ඒ අනුවයි.

පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4 ත් 6 ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

මෙතෙක් සිටි පාප් වහන්සේ බහුතරයකගේ දේහ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සුසානය තුළ තැන්පත් කෙරුණත්, ඉන් වෙනස්ව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මේරී මේජර් බැසිලිකාවේ තැන්පත් කෙරුන බව වාර්තා වෙනවා.

මේ වනවිට හිස්ව ඇති ධුරය සඳහා නව පාප්වරයෙක් පත් කරන තුරු ජ්‍යේෂ්ඨ කාදිනල්වරු මඬුල්ලක් මගින් කතෝලික සභාව පාලනය කරන අතර, දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනාගෙන් සුදුසුකම් ලැබූ 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප් වහන්සේ තෝරා ගැනීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *