දුප්පත්කම නැති කරන්න එන “ප‍්‍රජා ශක්ති”

මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා ප්‍රජා ශක්ති නම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
මේවන විට වර්තමානයේ මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3 ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා.
පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩටහන මගින් සහන සලසන ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය 2000 වසරේදී ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10 ක් වී ඇති බවත්, එය 2010 වසරේදී මිලියන 1.57 ක් දක්වා වැඩි වී තිබෙන බවත් සඳහන් වෙනවා. එමෙන්ම 2024 වසරේදී එම අගය මිලියන 1.79 ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතර කරලෙස බලපාන නිසා, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් ,ප්‍රජා ශක්ති, වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව වාර්තා වෙනවා.