ලෝක කම්කරු දිනය වෙනුවෙන් අපේ සැලසුම්

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තිබෙනවා.

1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8 කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.

ඒ අනුව, ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබෙන අතර, මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ නගරය තුළ මැයි දින රැලි 14 ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබෙන බව දක්නට ලැබෙනවා.

ජාතික ජනබලවේගය විසින් සිය මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කර තිබුණා.

සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙන අතර, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේග “රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බවයි.

මේ අතර, පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා. “රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු” යන තේමාව යටතේ මෙවර පොදුජන පෙරමුණ සිය මැයි රැලිය සංවිධානය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැලිය මෙවර එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියන්න මහතා පැවසුවේ “බොරුව නවතනු – පොරොන්දු ඉටුකරනු” යන තේමාව යටතේ සිය පක්ෂයේ මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, සර්ව ජන බල පක්ෂය විසින් “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාව යටතේ මෙවර මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වරකාපොළ සතිපොළ භූමියේ දී උදෑසන 10.30 ට මැයි දින රැලිය පැවැත්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *