කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම

මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි.

උපත් ආබාධ යනු ගර්භිණී කාලය තුළ කුස තුළ සිදුවන යම්කිසි විකෘතිතාවයක් හෝ යම්කිසි ක්‍රියාවලියක් තුළින් සිදුවන ආබාධ තත්ත්වයකි.

ලොව පුරා සෑම වසරකම උපත් ආබාධ හේතුවෙන් අලුත උපදින බිළිඳුන් 303,000 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ගෙන තිබෙනවා. ඉන් ඇස්තමේන්තු ගත මරණ 90,000 ක් අග්නිදිග ආසියාවේ සිදුවන අතර, මරණ අනුපාතයට අමතරව උපත් ආබාධ, දිගුකාලීන ආබාධ ඇති කරනු ඇති බවටත් එහිදි අනාවරණය වී තිබෙනවා.

මේ අතර ලෝක උපත් ආබාධ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඊට එක්වූ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ, මෙරට 2012 වසරේදී පළාත් තුනක් උපයෝගී කරගනිමින් පර්ශේෂණයක් පැවැත්වූ බවත්, එහිදී සජීවි දරු උපත් 18,000 ක් අධ්‍යයනය කළ බවත්, එහිදී මෙරට උපත් ආබාධ සහිත දරුවන් කොපමණ ඉපදෙන්නේද යන්න අධ්‍යයනය කළ බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

එමෙන්ම ඇතැම් උපත් ආබාධ ඉපදුණු විට දක්නට ලැබෙන බවත්, ඇතැම් උපත් ආබාධ අවුරුදු 60 දී පවා දක්නට ලැබෙන බවත්, පැවසු විශේෂඥ වෛද්‍යවරයා මෙම සියලුම උපත් ආබාධ සිදුව ඇත්තේ ගර්භිණී කාලයේදී බව සඳහන් කරනවා.

ඒ වගේම, මෙරට සජීවි දරු උපත් සංඛ්‍යාව ක්‍රමාණුකූලව අඩු වෙමින් පවතින බවත්, පසුගිය වසරේදී සජීවි දරු උපත් 247,000 ක් සිදුවූ ඇති බවද, දළ වශයෙන් මෙරට දරුවන් 4000-5000ත් අතර ප්‍රමාණයක් උපත් ආබාධ සහිතව උපදින බවට ඇස්තමේන්තු කර ඇති බවද, විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව සජීවි දරු උපත් සංඛ්‍යාවෙන් 1 ත් -1.2 ත් අතර ප්‍රමාණයකට මෙම උපත් ආබාධ පවතින බවත්, මින් වැඩිම උපත් ආබාධ ලෙස දැකිය හැක්කේ හෘද රෝගත් ඉන් පසු ගාත්‍රා ආශ්‍රිත ආබාධ තත්ත්වයන් සහ අනෙකුත් ආබාධ මෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මෙන්ම වකුගඩු ආශ්‍රිත ආබාධද දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

එමෙන්ම මෙරට ළදරු මරණවලින් 39 ක් උපත් ආබාධ හේතුවෙන් සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටක් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *