සියලූම නඩු ගොනු වසා දමන්න තීරණය කරලා

ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු ගොණු සියල්ල එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් “CBI” වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එය “සියදිවි නසාගැනීමේ සරල නඩුවක්” ලෙස සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසන අතර, විශේෂයෙන් ම එම මරණය සම්බන්ධයෙන් පැවති නඩුවේ ගොනු කර ඇති FIR පෙත්සම් දෙකෙහි නම් කර ඇති සියලුම පුද්ගලයින් CBI විසින් නිදහස් කර තිබෙනවා.

එලෙස නිදහස් කර ඇත්තේ, සුෂාන්ත් රාජ්පුත් ගේ පෙම්වතිය වූ රංගන ශිල්පිනී රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා මෙන්ම රාජ්පුත්ගේ සහෝදරියක් වන ප්‍රියංකා සහ වෛද්‍යවරයෙකුවයි.

ඒ වගේම, සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද නිගමනය කර තිබෙනවා. ඒ අනුව, CBI එහි අවසන් වාර්තාව සමඟ ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් ගොනු කර ඇති අතර, අධිකරණය අප්‍රේල් 8 වන දිනට නඩුව විභාග කිරීමට සහ වැඩිදුර නියෝග සඳහා දින නියම කර තිබෙනවා.

නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඔහුගේ මුම්බායි නිවසේ ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන සිටියදී සොයා ගැනුනේ 2020 වසරේ ජුනි 14 වනදායි.

සියදිවි නසා ගැනීමට අනුබල දීම, වංචා කිරීම, වැරදි ලෙස රඳවා තබා ගැනීම, සොරකම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා සහ තවත් දෙදෙනෙකු නම් කරමින් CBI 2020 අගෝස්තු 6 වන දින FIR පෙත්සම් ගොනු කර තිබුණා.

රාජ්පුත්ගේ පියා විසින් පැට්නා පොලීසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත මෙම FIR පෙත්සම් ගොනු කර තිබුනේ අදාළ පුද්ගලයින් නළු රාජ්පුත්ට එවැනි පියවරක් ගැනීමට හේතු වූ බවට චෝදනා කරමිනි.

2020 ජුනි 14 වනදා 34 හැවිරිදි සුෂාන්ත්ගේ මරණයත් සමඟ ඔහුගේ අකල් වියෝව සම්බන්ධයෙන් ලොව පුරා ඔහුගේ රසික රසිකාවියන් මෙන්ම විවිධ සංගම් ද පරීක්ෂණයක් ඉල්ලා හඬ නැගුවා.

මේ අතර, ඇතැමුන් චෝදනා කළේ මෙම මරණයට හේතුව බොලිවුඩ් සිනමාවට සම්බන්ධ දැවැන්ත පවුල් කණ්ඩායම්වල ඇතැම් බලපෑම් සහ ක්‍රියාවන් බවයි. එමෙන්ම ඔවුන් පැවසුවේ, මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය ඝාතනයක් වියයුතු බවටත්ය.

ඒ සුෂාන්ත් සිය නිවසේ මියගොස් සිටි ආකාරය, මරණ පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු සහ ඇතැම් සාක්ෂි විනාශ කිරීම වසන් කිරීම යන කරුණු උපුටා දක්වමිනි.

ඒ අනුව, වසර 5කට ආසන්න කාලයක් සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණ පැවැත් වූ අතර, අවසානයේ ඔවුන් තීරණය කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.

එහි අවසන් තීන්දුව අධිකරණය විසින් අප්‍රේල් 8 වනදා ලබාදීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *