ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට දැන් කොහොමද?

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේවන විට අසනීප තත්වයෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමිනුයි සිටින්නේ.
උන්වහන්සේව පසුගිය සතියේ රෝමයේ ජෙමෙල්ලී රෝහලට ඇතුළත් කර තිබෙන්නේ, බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහායි.
ශුද්ධෝත්තමයන් වහන්සේ, මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවත්, ඒ අනුව, උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවත් වතිකානය අනාවරණ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගෙවුණු දින කිහිපය පුරා රෝහල්ගතව කාලය ගතකරන්නේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වන අතර, මේ වනවිට උන් වහන්සේගේ පෙනහැලි දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වෙනවා.
කෙසේ වුවත්, පවතින රෝගී තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේගේ පැවති රෝගී ස්වභාවය තවත් තීව්‍ර සහ සංකීර්ණ වී ඇති බවත්, ඒ හේතුවෙන් උන් වහන්සේ CT සහ X කිරණ ඇතුළු පරීක්ෂණ කිහිපයකට ලක්කිරීමටත් කටයුතු කළ බවත්, රෝහල් බලධාරීන් අනාවරණය කරනවා.
ශාරීරික සෞඛ්‍ය තත්වය ඒ ආකාරයෙන් තිබුණත්, උන්වහන්සේ වඩාත් යහපත් මානසික තත්ත්වයක පසුවන බවත්, යාච්ඥා කිරීම වැනි සාමාන්‍ය කටයුතුවල නිරතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
එමෙන්ම තමන්ගේ සුව පැවැත්ම වෙනුවෙන් සුබපැතුම් එක්කළ සියලුදෙනාට උන්වහන්සේ තම ආදරය පිරි ස්තූතිය පුද කර සිටිනවා.