දකුණු කොරියාවට නව ජනාධිපතිවරයකු පත් කරගන්න

ඉදිරි වසර 5 ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (03) ආරම්භ වී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39 ක ඡන්දදායකයන් අද සිය ඡන්දය භාවිත කරනු ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පෙරවරු 11 වන විට, මිලියන 8.1 ක ජනතාවක්, එනම් ඡන්දදායකයින්ගෙන් 18% කට වඩා වැඩි පිරිසක්, රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී ඡන්දය ප්‍රකාශ කර තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය පසුගිය අප්‍රේල් 04 වනදා තීන්දු කළ අතර, ඒ අනුව තවත් දින 60 ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි පත් කෙරුණා.

රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදායි. ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කර තිබුණු අතර, ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවයි.

එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනා. මෙම තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසින් වන අතර, එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණා.

මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *