වෙඩිතැබීමේ සිද්ධියෙන් 10 ක් මරුට

මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වෙනවා.

අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ වෙඩි තබා පළාගොස්, අනතුරුව තවත් ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදු කොට තිබෙනවා.

පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වෙතත් අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන් වෙනවා.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබෙන අතර, ඔහු මීට පෙරත් නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අයෙක් ලෙස තහවුරු වී තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බව, එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *