හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව

හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව මින් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන්නේ, පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව පමණක් වේ.
මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බව අද (17) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු අනාවරණය කරනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදවලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයින් වශයෙන් යොදවලා තියෙනවා.
ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 22ක් ආරක්ෂාව සඳහා සපයා දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ පොලීසියේ 60ක් යොදවලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව සඳහා පවතිනවා.”
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මාස එකොළහමාර තුළ විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 112යි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 03යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.
ඒ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1,448ක් මේ මාස එකොළහමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැයබර සඳහා රජය වැය කරලා තියෙනවා.“ මේක ඉතාම අසීරු තත්ත්වයක්.