වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ලබනවා.
පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියා.
මේ වන විට එම ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද අඩුකර ඇති අතර, රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබෙන බවයි.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06 කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කරන බව ද රජය සඳහන් කරනවා.
මේ අතර,ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළ ද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළේ, මෙලෙස යොදවා සිටින නිලධාරීන් වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට රජයට සිදුවන නිසයි.