ලංකාවේ සිදුවූ ලොව දරුණුම දුම්රිය අනතුර

ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක්කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට 26 වසර 20 ක් සපිරෙනවා.
ඒ මහා ඛේදවාචකයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාව සිහිකිරීම දිවයින පුරා අදත් සිදුකෙරුණා.
2004 දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්න මුහුදු පතුලේ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 9.1 තරම් ප්‍රබල භූ කම්පනය අවසන් වූයේ රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගනිමින්.
උදෑසන 6.58ට පමණ සුමත්‍රා දූපත ආසන්නයේ හටගත් සුනාමි රළ අතරින් ප්‍රබලතම උදම් රළ පහර ඉන් පැය දෙකකට පමණ පසු උදෑසන 09ග26ට ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800ක තරම් වේගයකිනි.
චණ්ඩ රළ පහර මිනිත්තු කිහිපයක් තුළ මෙරට ජීවිත 35,000 කට අධික සංඛ්‍යාවක් බිලිගනිමින් රුපියල් කෝටි ගණනක දේපොළද විනාශ කළේ සිදුවූයේ කුමක්ද යන්න පවා සිතන්නට කාලයක් ඉතිරි නොකරමින්.
මීට විසි වසරකට පෙර මෙම මහා ඛේදවාචකයෙන් රළ අතර සැඟවුණු ආදරණීයයන් සිහිපත් කරමින් වාර්ෂිකව සිදුකරන නිහඬතාව සුරැකීම, අදත් පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා මිනිත්තු 02 ක කාලයක් මුළුල්ලේ සිදුකෙරුණා. එමෙන්ම පහන් දල්වා මියගිය සිය ආදරණීයයන් සිහිපත් කිරීමටද ඥාතීන් ඇතුළු පිරිස් කටයුතු කළා.
සුනාමි ඛේදචාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේ දී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කළා.
පැරෑලියේදී සුනාමි ඛේදවාචකයට හසුවූ දුම්රියෙහි එන්ජිම යොදාගෙන මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයක් වෙනවා.
දුම්රිය පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10 ක් පමණ නවත්වා සුනාමි සැමරුම් ස්ථානයට පුෂ්පෝපහාර දැක්වා තිබුණා.
මීට දශක 2කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනය ස්මරණය කිරීම සඳහා 2005 සිට දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනයක් ප්‍රකාශකට පත්කෙරුණි. මෙවරද, ජාතික සුරක්ෂිතතා දිනය, දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ගාල්ල ර්‍ණපැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදීද සැමරුම් උත්සවයක් පැවැත්වුණා.
මේ අතර, ජාතික සුරක්ෂිතතා දිනයේ, ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදි සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.
සුනාමි ව්‍යසනයත් සමග සිදුවූ ලොව දරුණුතම දුම්රිය අනතුර පිළිබඳ මතකයද කිසිදා ලාංකීය ජන හදවත් කෙරෙන් බැහැර වන්නේ නැති බව සත්‍යයක්.