රිදියගම හැඩ කරන දඟකාරයෝ

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු එක්ව තිබෙන බව පසුගිය දා වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි.
රිදියගම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කර තිබෙනවා. මෙලෙස පැටව් බිහිකර ඇත්තේ ලාරා සිංහ ධේනුව සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මේවන විට දෙමසකට වැඩි බව සෆාරි උදාන ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් මෙහිදී පැටවුන් තිදෙනෙකු බිහි කර සිටින ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා ධේනුව විසින් බිහිකළ පැටවයි. ඒ කාලයේ, ලාරා සිංහ ධේනුව ඩෝරාට කිරි දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් සත්ත්ව උද්‍යානයේ නිලධාරීට ඇයට කෘතිමව කිරි ලබා දී රැකබලා ගැනීමට සිදුවූ බව සඳහන් වෙනවා.
නමුත් ඩෝරා ධේනුව, ලාරා මෙන් සිය පැටව්න්ට කිරි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නැති අතර ඇය පැටව්න්ට කිරි දෙමින් පැටව් රැකගැනීම විශේෂත්වයක් වෙනවා.
මේ වනවිට මෙම සිංහ පැටවුන් 6 දෙනා සෆාරී උද්‍යානය තුළ ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන අතර, ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කලාපයකට මුදාහරින බව ද සෆාරි උදානයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.