යාපනෙන් ආ පෙත්සමට තීරණයක්

යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛන්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබෙනවාද කියා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබෙනවා.

ඒ වගේම, එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වනවා නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම්දෙන ලෙසත්, අධිකරණය විසින් පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය දෙනු ලැබුවේ, යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනි.

යුද්ධයෙන් පීඩාවට පත් වූ යාපනය අර්ධද්වීප ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බව, පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්මද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කරත් එය ඉටුවී නොමැති බවත් මෙහිදී සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

මේ පිළිබඳ පෙත්සම් විභාගය මාර්තු මස 6 වනදා පැවතීමටද දින නියම කළ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *