මෙහෙම ගියොත් නම් වැඩේ අසාර්ථකයි

මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි.

මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, සංචාරකයින් බොහෝ අසීරුතාවයන්ට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙනවා.

2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, මෙවර සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කරනවා.

මේ වනවිට මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසක්ම විදෙස් සංචාරකයින්ගෙන් පිරී තිබෙන්නේ, රටේ සංචාරක කර්මාන්තයට ද නැවුම් වූ බලාපොරොත්තු එක්කරමින්.

මෙවන් යහපත් වාතාවරණයක් ගොඩනැගී තිබුණත් සංචාරක පාරාදීසයක් වන ඇල්ලේ තත්ත්වය එතරම් සතුටුදායක නැති බව වාර්තා වෙනවා. ඒ තවමත් පවතින අඩුපාඩු රැසක් හේතුවෙනි.

විශේෂයෙන් ම සංචාරකයින්ගේ වාහන නැවැත්වීමට රථ ගාල් නිසි ලෙස නොමැති වීම නිසා දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

අවන්හල් ඉදිරිපිට වාහන නැවැත්වීමට මීට පෙර සංචාරකයින්ට අවස්ථාව හිමිවුවත් පොලීසිය විසින් එය තහනම් කළ නිසා, ගැටලුව තව තවත් උග්‍ර වී ඇති බව කර්මාන්තකරුවන් පවසනවා.

එසේම රාත්‍රි කාලයේ ප්‍රමාණවත් ආලෝක පද්ධතියක් නොමැති වීම නිසාද සංචාරකයින් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මේ අතර, පොළොන්නරුවේ පුරාවිද්‍යා නටඹුන් සහ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් ප්‍රවේශපත් සඳහා අයකරන ගාස්තු ද පසුගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකටත් වඩා ඉහළ නංවා ඇති බව සංචාරක මඟපෙන්වන්නන් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *