මහ බැංකුව පෙන්වන රටේ ආර්ථිකය

2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බවත්, එහි අගය 43.7% ක් නවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ නමුත්, මෙම අගය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වෙනවා.
බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත 10.9% ක් ද, මධ්‍යඹ පළාත 10.3% ක් ලෙසද එහිදී දායකත්වය ලබා දී තිබෙනවා.
බස්නාහිර පළාතේ දායක්ත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව පවසනවා.
තවද පෙර වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුවද සියලුම පළාත්වල නාමික දළ දේශීය නිශ්පාදනය 2023 වසරේදී වර්ධනය වී තිබෙන අතර, ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් ලබා දී ඇති දායකත්වය අනුව කෘෂිකාර්මික කටයුතුවලදී වයඹ පළාත තවදුරටත් ඉහළම දායකත්වය ලබා දී ඇති අතර එහි අගය 19.6% කි.
ඒ වගේම, පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළම දායකත්වය දකුණු පළාත 13.5% ක් ද මධ්‍යඹ 12.4% ක් වශයෙන් පළාත් ලබා දී තිබෙනවා.
මේ අතර 2023 වසරේදී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත වාර්තා කර ඇති අතර එහි අගය 48.7% කි. ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබෙනවා.
ඒ වගේම, වයඹ පළාත 12.3% ක් සහ මධ්‍යම පළාත 9.3% ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළම දායකත්වය වාර්තා කරනවා.
සේවා අංශයේ ක්‍රියාකාරිත්වය අනුව ද බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවන අතර, එහි අගය 45.9% කි. දෙවැනුව මධ්‍යම පළාත 10.4% ක දායකත්වයක් ලබා දී ඇති අතර, දකුණු පළාත 9.9% ක දායකත්වයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630 ක් බවද මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.