ප‍්‍රබල දේශපාලඥයෙකුගේ නික්ම යාම

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් (2004 වසරේ සිට 2014) දක්වා කටයුතු කර තිබෙනවා.
1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා මිය යන විට වයස අවුරුදු 92 කි.
ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙනවා.
පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා තිබෙනවා. සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබෙනවා.
විශේෂයෙන් ම ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර තිබෙන බව සඳහන් වෙනවා.
1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩාගෙන වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් වෙතයි.
ඒ අනුව, එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කළා.
අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක් වෙන ඉන්දියාවට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනා පවසනවා.
අග‍්‍රාමාත්‍ය ධූරයට පත්වීමට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙන බව සඳහන් වෙනවා.
ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ නිසාවෙනි.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීමේදී, ඔහු පාකිස්තානය සමග සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. මෙම ක්‍රියාවලියට පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර, එහි කූටප්‍රාප්තිය වූයේ 2008 නොවැම්බරයේ සිදුවූ මුම්බායි ප්‍රහාරයයි.
වසර 40 කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමග ඇතිවූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද මන්මෝහන් සිං මහතා උත්සාහ කළා.
මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර, ඉන්දීය නායකයෙකු ලෙස ඔහු එරට සිදුකළ සංචාරය බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගත්තා.
වරක් මන්මෝහන් සිං මහතා සාක් සමුළුවට සහභාගී වීම සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියා.
මන්මෝහන් සිං මහතා නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.