නව පත්වීම ලැබූ ඔහු කවුද?

නව යුධ හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබෙනවා. ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේදී.

ඊයේ (30) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාව පත් කළ බව වාර්තා වුණා.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා 1989 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙමින් සිය අභිමානවත් හමුදා දිවිය ආරම්භ කළා.

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියාවේ දෙහෙරාදුන් හි ඉන්දීය හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව, 1990 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරීයට පත්කරනු ලැබුවා.

ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා, හමුදා දිවිය තුළ තම සුවිශේෂී හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් විවිධ විෂයන් ඔස්සේ වූ උසස් පාඨමාලා කිහිපයක් හදාරා තිබෙන බව සඳහන් වෙනවා.

අවි (ක්ෂේත්‍ර) සඳහා වන උසස් පාඨමාලාවල දිගුදුර අවි සඳහා වන මාණ්ඩලික පාඨමාලාව, ඉන්දියාවේ Higher Defence Orientation පාඨමාලාව සහ චීනයේ කාලතුවක්කු බලඇණි අණදෙන පාඨමාලාව ඒ පාඨමාලා අතර වෙනවා.

ඒ වගේම ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ගික ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා තිබෙන බව සඳහන් වෙනවා.

මීට අමතරව, ඔහු ශ්‍රී ලංකාවේ යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (වත්මන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය) උපාධිධාරියෙකු ද වෙනවා.

කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත දක්‍ෂ යුද හමුදා නිලධාරියෙකු වශයෙන් ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා යුද හමුදාවේ විවිධ තනතුරු හොබවමින් රාජකාරි කර ඇති අතර, කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ වී සිටියදී එල්ටීටීඊ ප්‍රහාර හමුවේ තෙවරක් තුවාල ලබා තිබෙන බවත් වාර්තා වෙනවා.

සතුරා ඉදිරියේ අභීතව සිදුකළ නිර්භීත ක්‍රියා ඇගයීම වෙනුවෙන් ඔහුට රණ සූර පදක්කම පිරිනමා තිබෙනවා.

තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ තනතුරු රාශියක් හොබවමින් කටයුතු කොට ඇති ඔහු, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 18 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වශයේ, 661 වන පාබල බලසේනාධිපති වශයෙන්, 663 වන පාබල බලසේනාධිපති වශයෙන් සහ පුනරීන් හි පිහිටුවා තිබූ 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ප්‍රධාන නිලතල කිහිපයක් හොබවමින් සේවය කොට තිබෙනවා.

මීට අමතරව, ඔහු මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කර තිබෙනවා.

ඒ වගේම, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ විදෙස් මෙහෙයුම් තනතුර දරා ඇති නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙසද කටයුතු කරනු ලැබුවා.

ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා යුද හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *