දවසකට පොල් ගෙඩි ලක්ෂ දෙකක්

හෙට සිට ලංකා සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. මේ වන විට ලංකා සතොස හරහා අලෙවි කරන්නේ පොල් ගෙඩි ලක්ෂයක් පමණයි.
අමාත්‍යවරයා වරඩිදුරටත් සඳහන් කළේ කොළඹ ඇතුලූ නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි. එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කිරීමට නියම කර තිබෙනවා.
රජය සතු වතුවලට අයත් පොල්, ලක්, සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියා. ඒවගේම, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් පොල් නිෂ්පාදනයට බාධා මතුවූ බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේවන විට එම තත්ත්වය පහව ගොස් ඇති බැවින්, පොල් හිඟය කඩිනමින් පහව යනු ඇති බව අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.
මේ අතර උත්සව සමය තුළ කිසිඳු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.