ට‍්‍රම්ප්ට ලැබුණු නඩු තීන්දුව

අද නිව්යෝක් ප්‍රාන්ත අධිකරණය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් තවත් තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ, මුදල් ගෙවා තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලැබුණු නඩු තීන්දුවක් යළිත් තහවුරු කරමින්.

ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ අපරාධ චෝදනා 34 කට ඔහු වරදකරු කරමින් පසුගිය මැයි මාසයේදී ලැබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී ඔහු වරදකරු බවට පත්වී දඩුවම් නියම කිරීමට, දින නියම කර තිබුණ ද පසුව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ රැඳී සිටි කාලයේ සිදුකල ක්‍රියාවන් සදහා ජනාධිපති මුක්තිය හිමිවන බවයි. ඒ නිසා ඔහුට දඩුවම් නියම කිරීම ද පසුවට කල් දමා තිබෙනවා.

අදාළ ශ්‍රේෂ්ඨධිකරණ තීන්දුව පාදක කර ගනිමින්, මැයි මාසයේදී ඔහු වරදකරුවෙකු කළ නඩු තීන්දුව නිෂ්ප්‍රභා කළයුතු බව පවසමින් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විසින් පෙත්සමක් ඉදිරිපත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයේ වැඩබලන විනිසුරු හුවාන් මර්චන් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, නිල රාජකාරි සම්බන්ධයෙන් ජනාධිපති මුක්තිය හිමි වුවත්, පෞද්ගලික හැසීරීම සම්බන්ධ හේතු වෙනුවෙන් ජනාධිපති මුක්තිය භාවිත කළ නොහැකි බවයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කාන්තාවක් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත්, පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධ චෝදනා වලට පසුගිය මැයි මාසයේදී ඔහු වරදකරුවෙකු බවට පත්වුණා.

ඒ ඉතිහාසයේ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙමිනි.

මෙවැනි පසුබිමකදී ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය නොවැම්බර් මාසයේ අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ද ලෙස තේරී පත්වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *