ජනපති – අගමැති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද දහවල් කාලයේ පැවැත්වුණා.
එම මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා සඳහන් කළේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි. එමෙන්ම ඔහු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ද ආරාධනා කළ බව ජනාධිපතිවරයා පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත්, එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව මහත් සහයෝගයක් ලබා දුන් බවත්ය.
ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේදී අති විශාල සාර්ථකත්වයක් ලඟා කර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවද එම මාර්ගයේ ගමන් කරමින් සිටින බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම උත්සාහයට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන බවට තමාට පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරනවා.
ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බවත් ජනාධිපතිවරයා පැවසූ අතර, අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමුව තිබෙනවා.
ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම, ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාලවල සිසුන් 200 කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.
තවද ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500 ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙන අතර, නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ද නියමිතයි.
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරනවා.
ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.
මේ අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු වුණා.