චීන රජයට ජනපතිගේ ස්තූතිය

ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහය ලබාදීම පිළිබඳව, චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (18) පස්වරුවේදී, පාර්ලිමේන්තු සංකීර්ණයේදී චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උපසභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේදීයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං මහත්මිය මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳව ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා කිං බොයොං මහත්මියට පවසා තිබෙන අතර, ඉදිරියටත් චීනයේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

අතරමග නතර වී තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතරමග නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී උපසභාපතිනිය ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

ඒ වගේම, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවත්, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඇය වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *