ගෞරවයෙන් පිළිගත් විසි ලක්ෂයේ සංචාරකයා

2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා. ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන්.

මෙම විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද ගුවන්තොටුපොළේ Silk Route Lounge ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබුණා.

විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපොළට පැමිණ තිබුණා.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර, මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017 සහ 2018 වසරවල දී පමණයි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීයි.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 19,5127 ක් පැමිණ ඇති අතර, දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇති බව අපේක්ෂා කරනවා.

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණයි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර, නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු දක්නට ලැබෙනවා.

විදේශ සංචාරකයන් මුහුණදුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමට වත්මන් රජය පියවර ගත්තා.

ඒ අනුව, ඉකුත් මාස 03 ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.

නව රජය විසින් රටවල් 39 කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් කටයුතු කළ අතර, එහි අරමුණ වන්නේ, 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *