පිට පැන්නට පිටුවහල් කළ ලාංකිකයෝ

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටින ශ‍්‍රී ලාංකිකයින් 17 දෙනෙකු පිටුවහල් කර තිබෙන බව කියවෙන පුවතක් වාර්තා වෙනවා. ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ, අදාළ රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ 17 දෙනෙකු මෙලෙස යළි මෙරටට පිටුවහල් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙන බවයි.
කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බව තානාපතිවරයා මෙහෙිදී පෙන්වාදෙනවා.
විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර තිබෙනවා.
මේ අතර සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරනවා.
එමෙන්ම මින් පෙර සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.