කැනඩා බලපෙරළියට ඇත්තම හේතුව

කැනඩාවේ ලිබරල් පක්ෂයේ සභාපති .සචිත් මෙහ්රා. විසින් මේ සතිය තුළ පක්ෂයේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවීමට සැලසුම් කර තිබෙනවා. ඒ, පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහායි.
මෙහිදී ලිබරල් පක්ෂයේ සභාපතිවරයා විසින්, එම පක්ෂයට සහ කැනඩාවට දශකයකට වැඩි කාලයක් නායකත්වයක් ලබාදුන් ජස්ටින් ටෘඩෝට අතිශයින් කෘතඥ වන බව සඳහන් කරනවා.
මෙම තත්ත්වය මතුවුනේ, වසර 12 ක කාලයක් ලිබරල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජස්ටින් ටෘඩෝ විසින් පසුගියදා ,තමන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමත් සමගයි.
ඒ අනුව, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වන නමුත් නව පක්ෂ නායකයෙකු පත් කරගන්නා තුරු තමන් අගමැති ධුරයේ රැඳී සිටින බව ටෘඩෝ ප්‍රකාශ කරනවා.
ඒ වගේම, අග්‍රාමාත්‍යවරයා විසින්, එරට පාර්ලිමේන්තු කටයුතු ද ලබන මාර්තු 24 වැනි දා දක්වා අත්හිටුවීමට ද පියවර ගෙන ගත් බව විදෙස් වාර්තාවල සඳහන් වෙනවා.
54 හැවිරිදි ජස්ටින් ටෘඩෝ මුල් වරට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ 2015 වසරේදී වන අතර, මැතිවරණයට පෙර පසුබෑමකට ලක්ව සිටි ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම සම්බන්ධයෙන් ටෘඩෝ ජාත්‍යන්තරයේ පවා ප්‍රශංසාවට ලක්වුණා.
කෙසේ නමුත් 2018 වසරේ මූල්‍ය දූෂණ විමර්ශනයකට අග්‍රාමාත්‍යවරයා අයුතු ලෙස බලපෑම් කළ බවට පැතිරී ගිය වාර්තා හේතුවෙන් ජස්ටින් ටෘඩෝ විවේචනයට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජීවන වියදම සහ නිවාස සහ කුලී නිවාස මිල ගණන් ඉහළ යාම මෙන්ම, පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ දිගුකාලීන සමීපතමයෙකු වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ද ජස්ටින් ටෘඩෝගේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු වූ බව සඳහන් වෙනවා.