ඉදිරි දින දහය අවධානයෙන් කටයුතු කරන්න

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබෙනවා.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියා.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසුවා.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබෙනවා.

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි, සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි, සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි.
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *