ඇමෙරිකාව අසරණ වුණු හැටි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ලැව් ගින්න, ඊයේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව බොහෝ අඩු මට්ටමක පවතින බවත් වාර්තා වෙනවා.

මෙම ලැව් ගින්න, ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ලැව් ගින්න ලෙසින් සැලකෙන අතර, මේ හේතුවෙන් ඊයේ රාත‍්‍රිය වනවිට පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී තිබුණා.

කෙසේ වුවත්, මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ලැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා. ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 137,000 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරාධිපතිනි කරෙන් බාස් මෙම ළැව් ගින්න හඳුන්වා ඇත්තේ ගිනි කුණාටුවක් ලෙසින් වන අතර, පසුගිය අඟහරුවාදා ඇරඹුණු ලැව් ගින්න මේ වනතුරුම ඇවිලෙන්නේ නොනවතින සුළං ප්‍රවාහයත් සමගිනි.

සෑම දෙසකම දැවැන්ත ගිනි ජාලාවක් පැතිරී තිබෙන අතර, ඒ හේතුවෙන් ම නගරයට බියජනක ආලෝකයක් එක්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සීඝ්‍රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදුවුවත්, දැඩි සුළං නිසා එය මුළුමනින්ම නිවා දැමීමට හැකියාවක් ලැබී නැත.

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස ලොස් ඇන්ජලීස්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

විශේෂයෙන් ම සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන ඩොල්බි තියටර් නැත්නම් ඩොල්බි රඟහල පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ වන අතර, මෙම වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ නාමයෝජනා ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත්, ළැව් ගින්න හේතුවෙන් එය දැනටමත් දින දෙකකින් කල්දමා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ වගේම, ලොස් ඇන්ජලීස් පුරවරයට බටහිර දෙසින් පිහිටි ධනකුවේරයන්ගේ පාරාදීසයක් වූ පැලිසේඩ්ස් ප්‍රදේශයේ නිවාස සියල්ල පාහේ මේ වනවිට ළැව් ගින්නෙන් විනාශයට පත්ව තිබෙන බවත්, සුප්‍රකට සැන්ටා මොනිකා සහ මලිබු අතර පැතිරුනු පැලිසේඩ්ස් ළැව් ගින්න නතරවී ඇත්තේ පැසිෆික් සාගර වෙරලාසන්නයට පැමිණීමෙන් අනතුරුව බව සඳහන් වෙනවා. මේ හේතුවෙන් පැසිෆික් සාගර වෙරලාසන්නයේ පිහිටි නිවාසද ළැව් ගින්නෙන් වීනාශ වී තිබෙනවා.

මෙම ළැව් ගිනි නිසා ඇති වූ මූලික හානිවල ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 50 ක ඉක්මවන බවත්, ගිනි නිවන භටයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිවීම සඳහා යෙදවුවත් එම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් අවට ප්‍රාන්ත 06 කින් කැලිෆෝනියා ප්‍රාන්තය වෙත අතිරේක ගිනි නිවන රථ 250 ක් සහ ගිනිනිවන භටයින් දහසක් පමණ රැගෙනවිත් තිබෙනවා.

කැලිෆෝනියා ළැව්ගින්නෙන් නිවාස අහිමිවූ පිරිස් අතර, හොලිවුඩ් පුරයේ ප්‍රකට සිනමා ශිල්පීන් සහ ප්‍රකට පුද්ගලයින් රැසක් සිටිනවා. බිලී ක්‍රිස්ටල්, පැරිස් සිල්ටන්, ජේම්ස් වුඩ්, ජෙනිෆර් ඇනිස්ටන්, බ්‍රැඩ්ලි කූපර්, ටොම් හෑන්ක්ස්, රීස් විදර්ස්පූන්, ඇඩම් සැන්ට්ලර් සහ මයිකල් කීටන් ද ඒ අතර වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *