අළුත් වෛරසයේ බලපෑම අපිට කොහොමද?

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත්, එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර පසුගිය දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මෙය සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයක් බවයි.

එම නිවේදනය නම්,

උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza),රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus – HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් වේ. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්වය සමාන බවත්ය. වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති.
ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැනනැගී නොමැත. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවෙයි.

ප්‍රධාන කරුණු:

• චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන්ය.
• නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැත.
• මෙම තත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *