රාජතාන්ත‍්‍රික සාකච්ඡා ඇරඹේ

අද පෙරවරු 10 ට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වෙනවා.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරු 5.30 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
එම අවස්ථාවේදී ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්.මුරුගන්, ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා.
අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා වී තිිබෙන බව සඳහන් වෙනවා.
එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මෙන්ම මෙරට කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති හමුවේ දී මෙරට ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.
මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවත් ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙහිදී පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට ද එක් ව තිබෙනවා.
මේ අතර, අද ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතයි.
ඉන් පසු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත වන අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතයි.
අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෟපති මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතයි.